Press "Enter" to skip to content

අසභ්‍ය දර්ශන බැලීම වෙනුවට දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙමු

ඔබ දන්නවාද ඔබේ දරුවා අසභ්‍ය/කාමුක දර්ශන සහිත වීඩියෝ බලන්නේ ඔහුට හෝ ඇයට තමන්ගේ ශරීරය, ලිංගිකත්වය, ස්ත්‍රී පුර්ෂභාවය වගේ මාතෘකා ගැන ඇතිවන කුතුහලය නිසා බව? සිග්මන් ෆ්‍රොයිඩ්ට අනුව කුතුහලය කියන හැඟීම අපිට එන්නෙ අවුරුදු තුනේදී විතර, ඒ කාලයේ ඉඳන්ම අපි විවිධ දේවල් ගැන හොයා බලන්න, ප්‍රශ්න අහන්න පෙලඹෙනවා, කොටින්ම කියනවා නම් පරීක්ෂණ පවා කිරීමට පෙලඹෙනවා, ඉතින් මේ ලිංගිකත්වය කියන්නෙත් ඒ වගේ දෙයක්. නව යෞවන වියට එලඹෙන ඔබේ දරුවාගේ හෝ ඔබේ දුරකතනයේ හෝ පරිගණකයේ සෙවුම් ඉතිහාස තුල අසභ්‍ය/කාමුක දර්ශන සෙවීම් ගැන තිබීම ඔහු හෝ ඇය සිදු කල, දඬුවම් ලැබිය වරදක් නොවේ, සරලවම ඔබේ දියණිය, යොවුන් සහෝදරිය නොමඟට යාමක් නොවේ. ඒ ඔවුන්ගේ කුතුහලයයි. එසේ නම් අප දෙමාපියන් හෝ වැඩිහිටියන් ලෙස අපේ දරුවන්ට හරි විදිහට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද?

වර්තමාන සමාජය හා සැසඳීමේදී අපේ නව යොවුන් දරුවන් අසභ්‍ය/කාමුක දර්ශන බැලීමට යොමු වීම ඉතා සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇතත්, දෙමව්පියන් වශයෙන් ඒ ගැන සිතීම වුවත් ඔබට යම් සංකීර්ණ බවක් හැඟෙනු නොඅනුමානයි. එසේ නම් එවන් සිදුවීමකට උපේක්ෂා සහගතව මුහුණ දීමට අපට හැකියාව තිබිය යුතු අතරම දරුවන් සමඟ පැකිලීමකින් තොරව ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ ගැටළු හා ප්‍රශ්න කතා කිරීමට ඔබට හැකියාව තිබිය යුතුයි. ඔබට ඔබේ දෙමාපියන්ගෙන් යම් ලිංගික අධ්‍යාපනයක් නොලැබුනේ නම් ඔබත් ඔබේ දරුවන්ට එම අධ්‍යාපනයක් නොලැබිය යුතුයි සිතනවා නම් සිදු වන්නේ ඔවුන් අවිධිමත් හා වැරදි ලිංගික අධ්‍යාපනයක් ඉහත සඳහන් කල ක්‍රමයෙන් හෝ ඔවුන්ගේ මිතුරන්ගෙන්, රූපවාහිනියෙන්, චිත්‍රපට වලින්, විවිධ සමාජ ජාලා පිටු මඟින් හෝ වෙනත් යම් ආකාරයකින් එය ලබා ගැනීමයි. එය දරුවාට මෙන්ම සමාජයටද අහිතකර ප්‍රතිඵල දෙන තත්වයක් විය හැකිය.

කාමුක/අසභ්‍ය දර්ශන වෙනුවට විධිමත් ලිංගික අධ්‍යාපනය ගැන කතා කිරීමට මුළ පුරන්නේ කොහොමද,

කාමුක/අසභ්‍ය දර්ශන යනු යම් රඟපෑමක් මිසක් එය සැබෑ ජීවිතයට වඩා බොහෝ වෙනස් බව ඔබට මුලින්ම දරුවාට කියා දිය හැක. සැබෑ ලිංගික සංසර්ගය එම දර්ශන වල පෙන්වන රඟපෑම් මෙන් නොව එය ලිංගික සංසර්ගයකට වඩා සෙනෙහස, ආදරය මත පදනම් වූ ක්‍රියාවලියක් බව තව දුරටත් ඔබට කියා දෙන්නට හැකිය, එහි එක් ප්‍රතිඵලයක් ලෙස ඔබේ දරුවා උපත ලැබූ බවත් කියා දෙන්න. ඒ මාතෘකාව ඔස්සේ ගැහැණියකගේ හෝ පිරිමි පුද්ගලයෙකුගේ ප්‍රජනක පද්ධතිය ගැන, ඔසප් වීම ගැන, ඒ ආශ්‍රිත රෝග, පිරිසිදුකම පවත්වා ගැනීම මෙන්ම ගබ්සා වීම යන මාතෘකා දක්වා ඔබට කතා කරන්නට පුළුවන. ඉතින් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක් නම් ඒ ඒ අවයව සඳහා වූ නිවැරදි නම් භාවිත කිරීමයි. (උදාහරණ – ශිෂ්ණය, යෝනිය, පියයුරු, ගර්භාෂය, කන්‍යාභාවය, ලිංගික සංසර්ගය ආදී) එමඟින් ඔබේ දරුවාට අන් අයගේ ප්‍රජනක අවයව ගැන ගෞරවයෙන් සිතන්නට පෙළබෙනු ඇත. අපට බොහෝ විට අසන්නට ලැබෙන දෙයක් නම්, සමහර පුද්ගලයින් තවත් කෙනෙකුන් හා බැන වැදීමේදී මේ ලිංගික අවයව වලට අදාල විද්‍යාත්මක නොවන නමුත් සමාජයේ භාවිත වන සමහර වචන භාවිත කරන අකාරයක්, ඔබේ දරුවාට නිවැරදි වචනය කියා දීම තුලින්, ඒ සම්බන්ධ වැරදි මත ආකල්ප දරුවාගේ මනසින් ඉවත් කිරීමට ඔබට හැකිවනු ඇත.

බොහෝ විට මේ හා සිදුවීම් සමඟ අපට කටයුතු කිරීමට සිදු වන්නේ නව යෞවන වියේ දරුවන් සමඟ නිසා, ඔබට පහසුවෙන්ම කිව හැකි දෙයක් නම් මේ කාමුක/අසභ්‍ය දර්ශන බැලීම මේ වයසට නුසුදුසු බවත් ඔබට යමක් හරිහැටි අවබෝධ වන වයසට පැමිණි පසු ඒවා බැලීම හෝ නොබැලීම ගැන තීරණ ගත හැකි බවත් කියා දිය හැක. වැඩිදුරටත් ඉන් ඔබේ දරුවාගේ හිත නොරිදෙනු ඇති අතරම ඔහුට/ඇයට එහි වරදකාරී බවක්ද නොහැඟෙනු ඇත.

කාමුක/අසභ්‍ය දර්ශන ගැන සැලකීමේදී ඔබේ දරුවා දැනටමත් සමලිංගික පුද්ගලයන්ගේ ලිංගික දර්ශන නරඹා තිබෙන්නටද පුළුවන, මෙහි කාරණා කිහිපයක්ම ඇති අතර, එකක් නම් LGBTQ+ ප්‍රජාවක් ලෝකයේ සිටින බවත් එය සාමාන්‍ය පොදු කරුණක් බවත්, ඔවුන්ගේ ලිංගිකත්වයට අප ගරු කල යුතු බවත් කියා දෙන්නට පුළුවන්. ප්‍රධානම දෙය නම් ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය ගැන විශාල පාඩමක් ඔබට ඔබේ දරුවාට කියා දිය හැකි වීමයි. එලෙසම මෙම සාකච්ඡා තුලින් ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන ඔබට අවබෝධ කර ගැනීමට මෙය පහසුවක් වනු ඇත.

එපමණක් නොව, ඔබේ දරුවා දැනටම කාමුක/අසභ්‍ය දර්ශන බලා ඇති බව ඔබ දන්නේ නම්, එය ලිංගික අපයෝජනයකින් හෝ අපචාරයකින් ඔබේ දරුවාට බේරී සිටීමට කල යුතු දේවල් පවා කියා දීමට ඔබට මෙය අවස්ථාවක් කර ගත හැකිය. එපමණක් නොව සමාජයේ ගණිකාවන් යනුවෙන් පිරිසක් සිටින බවත්, ඔවුන්ගේ වෘත්තිය ගැන වුවත් ඔබට කියා දීමට හැක, ඒ හරහා ලිංගිකව බෝවන රෝග එනම් HIV AIDS පිළිබඳව ඔබේ දරුවාට කියා දීමට මෙයින් ප්‍රවේශයක් ලබා ගත හැකිය.

ඉතින් තව දුරටත් ඔබේ දරුවා කාමුක/අසභ්‍ය දර්ශන බලා ඇති බව සිතීමෙන් මානසිකව දුර්වල වීම හෝ එම කේන්තිය දරුවා පිටින් යැවීම දෙමාපියන් හෝ වැඩිහිටියන් වශයෙන් ඔබ කල යුතු නොවේ. ඔබට අවශ්‍ය වන්නේ විධිමත් හා නිවැරදි ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධ දැනුම පමණය.

වඩා නැණවත්ව සිතා බලා ඔබ ඔබේ දරුවා ගැන දන්නා බව, ඔහු/ඇය ගැන සැලකිලිමත් වන බව හඟවන්නටත් ඔබේ ආදරය ඔවුන්ට පෙන්වීමටත් මෙය අවස්ථාවක් කර ගන්න.

For additional knowledge,

https://www.bbc.com/sinhala/sri-lanka-37268683.amp

https://m.facebook.com/story php?story_fbid=580385742914712&id=100028298749096

Article by,

Nilupuli Nayanathara Jayathilaka – SRHR Activist | Social worker

Share is Caring

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *