Press "Enter" to skip to content

ඔබේ දරුවා ස්වයංවින්දනයේ යෙදෙනවා දුටුවහොත් ?

මෙය වැඩිහිටි ඔබට තරමක් අසීරු යැයි හැඟෙන සිදුවීමක් සේ පෙනුනත් මේ ඉතා සරල වටහාගත යුතු තවත් එක් නව යෞවනෝදයේ සිටින දරුවන් අත්දැකීම් ලබා ගන්නට උත්සාහ කරන සංසිද්ධියක් පමණි. සරලවම බොහෝ වැඩිහියන්ට මේ පිලිබඳව අවබෝධය ඇතත් ඔවුන් තම දරුවා ස්වයංවින්දනයේ යෙදීම අහම්බයකින් හෝ දුටුවහොත් එය එසැණ පිළිගැනීමට නොහැකි මානසිකත්වයකට මුහුණ දෙයි. සැබවින්ම මෙය ඔබේ දරුවාගේ සාමාන්‍ය වර්ධනය පෙන්නුම් කරන තවත් එක් සංසිද්ධියක් වන අතර රෝගී තත්වයක් නම් නොවේ.

ඍණාත්මක සිතුවිලි ?

බොහෝ විට ස්වයංවින්දනයේ යෙදීම, ස්වයංවින්දනය යන වචන ඇසුණු විට අපේ සිතට බොහෝ විට හැඟෙන්නේ ඍණාත්මක සිතුවිලි වෙන්නට පුළුවන, මන්ද යත් මේ හා බැඳුනු මිත්‍යා මත රාශියක් අපගේ සමාජය තුළ පවතින බැවිනි. එලෙසම යුරෝපීය රටවල් වල සමාජ සන්ධර්භයන් හා සැසඳීමේදී බොහෝ ආසියාතික රටවල් වල මෙම ස්වයංවින්දනය යන වචනය හා එහි අර්ථය සමාජයේ කතා බහට ලක් නොවන තවත් එක් මාතෘකාවක් ලෙස තව දුරටත් අපට වටහා ගත හැක.

ස්වයංවින්දනය

කුණාටු සමය සහ ස්‍වයංවින්දනය

වැඩිහිටි ඔබ වටහා ගත යුතු දෙයක් නම් ඔබේ නව යොවන දරුවා  ජීවිතයේ කුණාටු සමයක් පසු කරමින් සිටින අතර ඇය/ඔහු තමාගේ ශරීරය පිළිබඳ ස්වයං ගවේශනයක නිතරම නිතර වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ ලිංගික අවයව වලින් තෘප්තියක් ලැබෙන්නේ කෙසේද යන්න ගවේෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය/ඔහු මෙම ස්‍වයංවින්දනය  හඳුනා ගනී. ඔබ ඔවුන්ට ස්වයංවින්දය යනු වැරදි ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරනවා නම්, ඉන් සිදුවන්නේ දරුවා තුළ තමා පිළිබඳ වැරදි වැටහීමක්/කනස්සල්ලක්/පසුගාමී බවක්/වරදකාරී හැඟීමක් වැනි දෑ ඇතිවීමයි. එය දරුවාගේ මානසික සෞබ්‍ය වෙත විශාල බලපෑමක් ඇති කරන්නට හැකි සේම අනාගතයේ ලිංගික ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමට හේතු සාධක විය හැක.

දරුවා සමඟ කතා බහ කරන්නේ කෙසේද

මෙවැනි සිදුවීම් වලදී වැඩිහිටියන්ට ඇති වන ප්‍රධානම ගැටලුව නම් මෙය ගැන (එනම් දරුවා ස්වයංවින්දනය කිරීම දැකීම ගැන) දරුවා සමඟ කතා බහ කරන්නේ කෙසේද හෝ කතා බහ නොකර සිටිනවාද යන්න වග. ශ්‍රී ලංකාව වැනි රටක බොහෝ වැඩිහිටියන් තුළ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය එතරම් සමීප මාතෘකාවක් නොවුනත් සාමාන්‍ය සමාජ හා ඒක පුද්ගල අවබෝධය මත දරුවා සමඟ මේ පිළිබඳ කතා කල හැක. එසේ නොමැති නම් දෙමාපියන්ට ස්වයං අධ්‍යනයක පවා යෙදිය හැක. මේ කෙසේ වෙතත් ඔබේ නව යොවුන් දරුවා සමඟ ඇයගේ/ඔහුගේ ලිංගිකත්වය සම්බන්ධ දෑ ගැන කතා කිරීමට දෙමාපියන්ට/වැඩිහිටියන්ට තමා තුළ වඩා හොඳ ආත්ම විශ්වාසයක් තිබීම වැදගත් වේ.

වර්තමානය වන විට බොහෝ වැඩිහිටියන් කාර්‍යබහුල ජීවන රටාවක සිටින නිසාවෙන්ම තමන්ගේ දරුවන් හා ඔවුන්ගේම සම මිතුරන් වශයෙන් සමීප සම්බන්ධතා වල යෙදීමට නොහැකි වූවත් තාක්ෂණය (උදා; දුරකතනය) භාවිතයෙන් ඔවුන්ට මෙවැනි  ලිංගික හා ලිංගිකත්වය සම්බන්ධ ගැටලු ගැන කතා කිරීමට හැක. සමහරවිටෙක එය ඔබටත් දරුවාටත් පහසුවක් වනු ඇත. ඉතින් ඔබට අවශ්‍ය වන්නේ අවස්ථානුකූලව එම සිදුවීමට මුහුණ දීම පමණයි.

NoFap: I gave up masturbation for a year - BBC Three

මෙවැනි අවස්තාවකදී, විශේෂයෙන්ම ඔබ දරුවාව ලැජ්ජාවට හෝ සම්ච්චලයට ලක් නොකල යුතු මෙන්ම ඔහුගේ/ඇයගේ ලිංගික අවයව සමච්චලයට ලක් නොකල යුතුය. මන්ද ස්වයංවින්දනය යනු සාමාන්‍ය ක්‍රියාවකි. හැරත් ඔබ එලෙස සමච්චල් කරන්නේ නම් දරුවාට තමාගේ ලිංගික අවයව හෝ තමන්ගේ ලිංගිකත්‍වය සම්බන්ධ දෑ ගැන පසුකාලයක පසුගාමී හැඟීමක් දැනෙන්නට පුළුවන. තවද ස්වයංවින්දනය නතර කිරීමේ අරමුණින් දරුවාව බිය පත් කිරීම කිසිසේත් නොකල යුතුය.

හදිසියේ හෝ ඔබ දරුවාගේ කාමරයේ දොර විවෘත කරන වෙලාවක මෙම සිදුවීම වූවා නම් ඔබට ඇයගෙන්/ඔහුගෙන් සමාව ඉල්ලිය හැක. වෙනත් වෙලාවක දරුවාගේ කාමරය යාමට පෙර ඇයගේ/ඔහුගේ දොරට තට්ටු කිරීම කල හැක. එමඟින් ඔබ ඔබගේ දරුවාගේ පෞද්ගලිකත්වයට ගරු කරන බව ඔවුන් වටහා ගනු ඇත. විශේෂයෙන්ම දරුවා ස්වයංවින්දනය කරන අවස්තාවේම ඔබ දුටුවා නම්, එම මොහොතේම ඒ ගැන කතා කිරීම අවශ්‍ය නැත. ඔබටත් දරුවාටත් ඒ පිලිබඳ කතා කිරීමට සුදුසු මානසික මට්ටම එලැඹෙන තෙක් බලා සිටීම වඩාත් සුදුසු වේ.

කෙසේ නමුත් නව යොවුන් දරුවන් ස්වයංවින්දනයේ යෙදීම සාමාන්‍ය සංසිද්ධියක් සේම, එහි අප අවධානය යොමු නොකරන දිශාවක්වද අපට දකින්නට හැක. උදාහරණ වශයෙන් ස්වයංවින්දනය පුරුද්දක් බවට පත් වී දරුවාගේ අධ්‍යාපන හා දෛනික කටයුතු මඟ හරිනවා නම් වැඩිහිටියන් වශයෙන් ඔබට කල හැකි දෙය නම් ඔබේ දරුවාට, ස්වයංවින්දනය යනු ඔබේ අවශ්‍යතාවය මත පමණක් සිදු කල යුතු දෙයක් අතර ඔබගේ වැඩ කටයුතු පාඩු කර ගැනීම ඔබගේ හෙට දිනයේ දියුණුවට බාධකයක් විය හැකි බව දරුවාට කියාදිය හැක.

masturbation-Sinhala

තවද ඔබේ නව යොවුන් දරුවා දැනටමත් ලිංගික සම්බන්ධතා ගැන දැනුවත් නම් ඇය/ඔහු තවමත් ඉගෙනුම ලබන අතරම ශ්‍රී ලංකාවේ නීතීන් වලට අනුව දරුවා ලිංගිකව හැසිරීම දූෂණයක් ලෙස සැලකේ නම් වැඩිහිටියන් ලෙස ඔබේ වගකීම ඔබේ නව යොවුන් දරුවාට මේ පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීමයි. තවද දරුවා තම මහන්සිය හෝ පීඩනය අඩු කර ගැනීමට නිරන්තරයෙන් ස්වයංවින්දයේ යෙදෙන්නේ නම් ඒ සඳහා ස්වයංවින්දනයේ යෙදීමම අවශ්‍ය නැති බවත් තව බොහෝ ක්‍රියාකාරකම් (උදා; සංගීතය) ඇති බව ඇයට/ඔහුට කියාදිය හැක.

එපමණක් නොව ඔබ මෙවැනි දේ දරුවන් සමඟ කතා කිරීම තුලින් ඔවුන්ට ඇති ලිංගිකමය ගැටලු පමණක් නොවේ දරුවාට ඇති මානසික හා සමාජීය ගැටලු වූවත් හඳුනා ගැනීමට ඔබට හැකිවනු ඇත.

සමහර විටෙක වැඩිහිටි ඔබට ඔබේ දරුවා සමඟ මෙම ගැටලු එක්ව සාකච්ඡා කිරීමට නොහැකිම නම්, මේ සඳහා ඔබගේ දරුවාට සමීප/විශ්වාසවන්ත වෙනත් වැඩිහිටියෙකුට හෝ වෛද්‍යවරයෙකුට,සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කරන සමාජ වැඩ සේවයකයෙකුට, උපදේශකවරයෙකුට ඔබේ දරුවා යොමු කිරීම කල හැක. කෙසේ නමුත් වඩාත්ම වැදගත් දෙය නම් ඔබ ඔබේ දරුවා සමඟ සමීපව මිතුරෙකු මෙන් කටයුතු කිරීමයි.

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *