Press "Enter" to skip to content

ඔසප් වීම හා එහි මිත්‍යා මත ගැන දැනුවත් වෙමු

කාන්තාවකගේ ඔසප් වීම චක්‍රයකට අනුව සිදු වන අතර අප එය ඔසප් චක්‍රය ලෙස හඳුන්වමු. දින 14 ක් ඇතුලත ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මුදා හැරීම සිදු වන අතර 14 වන දිනයේදී ඔබගේ ගර්භාෂය ඇතුළත බිත්ති වර්ධනය වීමට පටන්  ගන්නා අතර, සංසේචනය වූ ඩිම්බ භාර ගැනීමට ගර්භාෂය සූදානම් වේ. ඩිම්බ සංසේචනය නොවුනහොත් ඒවා ගර්භාෂය ඇතුළත බිත්තිය සමඟ එක්ව රුධිරය වශයෙන් යෝනි මාර්ගයෙන් පිටතට ගලා ඒම සිදු වේ.  මේ ලෙස සෑම දින 28කට වරක්ම මෙම ක්‍රියාවලිය සිදු වන අතර මෙය මාසික ඔසප් වීම ලෙස හඳුන්වයි. නමුත් සෑම දින කාන්තාවකටම දින 28කට වරක් මෙය සිදු නොවන අතර එය දින 21-35ත් අතර කාලයකදී වූවද සිදු විය හැකි අතර එය ඉතා සාමාන්‍ය තත්ත්වයකි.

බොහෝ කාන්තාවන්ට තම ඔසප් දින වලදී වේදනාවක් ඇති වීම දක්නට ලැබෙන දෙයක්. නමුත් මෙය සාමාන්‍ය දෙයක් වන අතර එම ඇතිවන වේදනාව සමනය කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කල හැක.

  • උණු වතුර බෝතලයක් භාවිත කිරීම
  • වේදනා නාශක භාවිතය (පැරසිටමෝල්/මෙෆෙනමික් ඇසිඩ්) -ඔසප් වීමේ වේදනාව අවම කර ගැනීමට වේදනා නාශක භාවිත කල හැකි වූවද, දිනකට දෙපාරක් හෝ තුන් පාරක් භාවිත කිරීම සෞඛ්‍යට හිතකර නොවේ.
  • ව්‍යායාම කිරීම
  • මෙවැනි ක්‍රම මඟින් ඔබට යම් සහනයක් නොලැබෙන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා හිතකර වේ.

බොහෝ කාන්තාවන්ට ඔසප් චක්‍රය ඇතුළත කාලයේදී වූවත් යම් වේදනා ඇතිවන අතර එය සාමන්‍ය තත්වයකි. බඩේ කැක්කුම, අප්‍රිය ගතිය, වමනයට වගේ දැනීම ඒ අතර වේ. තවද පියයුරු වේදනාවද අත්විඳින්නට සිදු වේ. එසේ නොමැතිව ඔබට සාමාන්‍ය දින වලදීත් පියයුරු වේදනාව පවතී නම් අනිවාර්‍යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුය.

එය පියයුරු පිළිකා වල ලක්ෂණයක්ද විය හැක. බොහෝ තරුණියන්ට ඇති ගැටලුවක් නම් වැඩිවියට පැමිණීමෙන් පසු නැවත මාස කිහිපයක් යන තුරු ඔසප් වීම සිදු නොවීමයි. එයට හේතුව නම් තවමත් ශරීරයේ නිසි ආකාරයෙන් හෝමෝන නිෂ්පාදනය සිදු නොවීමයි. අවිධිමත් ලෙස හෝ ඔසප් වීම් කිහිපයක් සිදු වූවාට පසු මෙය නැවත යතා තත්වයට පත් වේ. නමුත් මාසයකට දෙවතාවක් ඔසප් වීමක් සිදු වූයේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්‍ය වේ.

තවත් බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවක් නම් ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වීමයි. එයට හේතු ලෙස,

  • ආතතිය හෝ විශාදය/ ඔබ බොහෝ කාර්‍යබහුල වීම
  • උපත් පාලන භාවිතය’
  • අධික බර, අධික ලෙස බර අඩු වීම
  • ගර්භනී වීම
  • හෝමෝන අසමතුලිතතා හෝ රෝගී තත්ව (එවැනි අවස්තාවකදී වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අනිවාර්ය වේ)
  • කාළගුණික වෙනස් වීම්
  • වෙනත් රෝගී තත්ත්ව වලට ඖෂධ ලබා ගැනීම

ඔසප් දින වලදී ඔබට අපහසුතාවයක් නොමැති නම් ලිංගිකව එක්වීම සිදු කල හැකි අතර තවද ඔසප් චක්‍රය අතරතුරදී යෝනි ශ්‍රාවයක් පිට වීම සිදු වන අතර එය ඊස්ටජන් හා ප්‍රොජෙස්ටරෝන් වෙනස් වීම නිසා සිදු වන දෙයකි. ඒ පිළිබඳ කලබලයට පත් වීමට අවශ්‍ය නොමැති අතර, එම ශ්‍රාවය ගන්ධය රහිත, වර්ණයක් රහිත කැසිල්ලක් නොමැති ශ්‍රාවයක්ද යන්න වග ඔබ සැලකිළිමත් විය යුතුය. එය එසේ නොමැති නම් වෛද්‍යවරයෙකු මුණ ගැසීම වඩා සුදුසු වේ.

කෙසේ නමුත් ඔසප් වීම පිළිබඳව සමාජයේ බොහෝ දුර්මත තිබෙන අතර ඒවා විශ්වාස කිරීමට පෙර පිළිගත හැකි සාක්ෂි තිබේද යන්න සොයා බැලීම කල හැකි නම් එය ඉතා සුදුසු පියවරකි. මන්ද ඔබේ ශරීරය ගැන ශරීර සෞඛ්‍ය ගැන වගකීම ඇත්තේ ඔබ අතේ වීමයි.

  • ස්නානය නොකර සිටිය යුතු බව – ආර්තව කාලය තුළ සනීපාරක්ෂාව පවත්වා ගැනීම ඉතා වැදගත් දෙයකි. මන්ද ඔබ සනීපාරක්ෂක තුවා භාවිත කිරීමත්, දහඩිය දැමීමත් නිසා ශරීර අවයව වල බැක්ටීරියා වර්ධනය වීම වැළැක්වීම සඳහා ස්නානය මඟින් පිරිසිදු වීම වඩා සුදුසුය. ටැම්පෝන් වැනි රුධිර ගලන පාලකයක් පැළඳීමෙන් පසු පිහිනුම් තටාක පවා භාවිතා කිරීමද කල හැක. එම නිසා ස්නානය නොකර සිටිය යුතු යැයි නීතියක් හෝ රීතියක් නැත.
  • මාංශ සහ තෙල් සහිත ආහාර ගැනීම ‍නුසුදුසු බව – රුධිර වහනය සිදුවන බැවින් අපගේ ශරීරයට මෙම කාලය තුළ දී හොඳින් පෝෂණය ලබා දීම අවශ්‍ය වේ. එලෙසම වැඩිපුර ජලය පානය කිරීමට මෙම කාලය තුල සිදු කිරීමෙන් ශරීරය විජලනය වීම වළක්වා ගත හැක. කෙසේ නමුත් ඔසප් කාලය තුල හෝ සාමාන්‍ය දිනයන් වලදී වුවත් තෙල් සහිත ආහාර අඩුවෙන් පරිභෝජනය කිරීම අපගේ සෞඛ්‍යට හිතකර දෙයකි.
  • ඔසප් රුධිරය අපවිත්‍ර යැයි සැලකීම – ඉහත ඔසප් චක්‍රය ගැන හැඳින්වීමේදි අපට පෙනී යන කාරණය නම් මෙම රුධිරය අපවිත්‍ර දෙයක් නොවන බවයි. මෙම අපවිත්‍ර යන මතය නිසා කාන්තාවන් එම කාල තුලදී ආගමික ස්ථාන වලට නොයා සිටීම යන මතය ස්ථාපිත වූවා යැයි තවදුරටත් සිතිය හැක.
  • ඔසප් කාල තුලදී ක්‍රීඩා කිරීම ව්‍යායාම කිරීම සුදුසු නැත – ඒ කෙසේ වෙතත් ව්‍යායාම කිරීම මඟින් ඔසප් වේදනා අවම කර ගත හැකි අතර, ඔබ ක්‍රීඩා කරන කෙනෙක් නම් ටැම්පෝන් වැනි සනීපාරක්ෂක ක්‍රම භාවිත කර ඔබේ එදිනෙදා ක්‍රීඩා කටයුතු කර ගැනීමට හැකිය.

කෙසේ නමුත් වර්තමානය වන විට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතීන් ගැන බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාලා වල කතා කිරීම නිසා මෙම මිත්‍යා මත යම්තාක් දුරකට අවම වී ඇතත්, ග්‍රාමීය ප්‍රදේශ වල සිටින තරුණ තරුණියන්ට එම බුද්ධි ගලනය සිදු වන්නේද යන්න තරමක් සැක සහිතය. පාසල් වලින්ද මොවුන්ට මේවා ගැන නිසි අධ්‍යාපනයක් නොලැබෙනවා සේම ඔවුන් එම දැනුම ලබා ගන්නේ අවිධිමත් ක්‍රම වලටය.(දෙමාපියන්, ඥාතීන් හා තම මිත්‍රයින් හෝ සමාජයේ පවතින විවිධ ආකාරයේ මූලාශ්‍ර මඟින් නමුත් මේවාගෙන් විධිමත් හා නිවැරදි දැනුමක් ලැබෙන්නේද යන්න මැනීමට ක්‍රමවේදයක් නැත).

තවද මෙම මිත්‍යා මත හා බොහෝ විට රැඳී සිටින්නේත් ග්‍රාමීය ප්‍රදේශ වල සිටින පිරිස් වේ. ඔබ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතීන් ගැන උනන්දු හා දැනුමින් යුත් පුද්ගලයෙක් නම් ඔබේ සමාජයේ සිටින කුඩා කුඩා ප්‍රජාවන් අතර එම දැනුම ප්‍රචාරණය කිරීමට යම් හෝ පියවරක් ගැනීමට ඔබට හැකි නම් එය ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය බලගැන්වීමට කරන මහඟු සේවයක් වනු ඇත.

Reference and Resources –

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳ අත්පොත –  ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමය

https://medium.com/@dinali.hansi/menstrual-myths-and-taboos-in-sri-lanka-195d5b212ded#:~:text=Myth%3A%20Periods%20bring%20bad%20luck%20to%20men.%20When,is%20celebrated.%20Well%2C%20no%20pressure%20in%20that%2C%20but%E2%80%A6

https://r.search.yahoo.com/_ylt=AwrWp2QjNQBfgncA0Qd3Bwx.;_ylu=X3oDMTByM3V1YTVuBGNvbG8DZ3ExBHBvcwMzBHZ0aWQDBHNlYwNzcg–/RV=2/RE=1593877924/RO=10/RU=http%3a%2f%2fwww.lankalibrary.com%2fmyths.html/RK=2/RS=xc9F39HTqWuIlLxw87RBH.sEGaE-

Nilupuli Nayanathara Jayathilaka – SRHR Activist | Social Worker

Share is Caring

One Comment

  1. […] ඔසප් වීම හා එහි මිත්‍යා මත ගැන දැනුවත්…ඔසප් වීම හා එහි මිත්‍යා මත ගැන දැනුවත් වෙමුBy Nilupuli Nayanatharaකාන්තාවකගේ ඔසප් වීම චක්‍රයකට අනුව සිදු වන අතර අප එය… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *