Press "Enter" to skip to content

හෙට උපදින ඔබේ දරුවා තැලසීමියා රෝගයෙන් ගලවා ගනිමු

විවාහයට සහකරුවකු සහකාරියකු තෝරා ගැනීමේදි අප සැළකිලිමත් වන කරුණු රාශියක් ඇත. ඒ අතුරින් තවමත් බොහෝදෙනෙකුගේ අවධානයට යොමු නොවන එහෙත් අපගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළහැකි එක් විශේෂ කරුණක් පිළිබඳව ඔබ දැනුවත්ද? එය නම් ඔබගේ සහකරු/සහකාරිය තැලසීමියා රෝග වාහකයෙක්ද නැද්ද යන්නයි.

තැලසීමියා රෝගය යනු කුමක්ද?

තැලසීමියා  යනු අපගේ රුධිරයේ ඇති රතු රුධිරාණු ආශ්‍රිත ප්‍රවේණිගත රෝගී තත්ත්වයකි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ රතු රුධිරාණුවක ආයු කාලය මාස 4 ක් වන අතර තැලසීමියා රෝගියෙකුගේ එය මාසයක් පමණ වේ.

මෙහිදී රුධිරය  රතු පැහැ ගැන්වීමට හේතු වන හිමොග්ලොබින් (Hemoglobin) වල ඇති ග්ලොබින් නමැති ප්‍රෝටීනය නිපදවීම අඩාලවීම නිසා රතු රුධිරාණු බිඳීමකට ලක්වේ. ⁣මෙමගින් රෝගියා රක්ත හීනතාවයට (Anemia) පත්වේ.

තැලසීමියා රෝගී දරුවෙකුගේ රෝග ලක්ෂණ පහළ වීම උපතින් මුල් වසර හෝ දෙක තුලම සිදුවේ. එය රුධිර පරීක්ෂාවකින් තහවුරු කරගත හැක. මෙම රෝගී තත්ත්වය ඇති දරුවෙකු, 

  • ක්‍රියාශීලීත්වය අඩුවීම
  • සුදමැලි බව
  • සම කහ පැහැයට පත්වීම
  • වර්ධනය අඩාල වීම
  • අඳුරු පැහැ මුත්‍රා පිටවීම
  • ඉක්මනින් වෙහෙසට පත්වීම
  • කිරි උරා බීම ප්‍රතික්ෂේප කිරීම
  • අක්මාව හා ප්ලීහාව ඉදිමීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම
  • ඇට මිදුලු පුලුල් වීම නිසා මුහුණේ හැඩය වෙනස්වීම

ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළහැක.

දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2-3% ක් පමණ තැලසීමියා රෝග වාහකයන් බවට ඇස්තමේන්තු කර ඇත. මේ වනවිට අප රට තුළ තැලසීමියා රෝගීන් 1600 පමණ සිටියි.

තැලසීමියාව වැළදෙන්නේ කෙසේද?

තැලසීමියාව යනු ප්‍රවේණිගත රෝගයකි. එනම් දෙමව්පියන්ගේ ජාන මඟින් දරුවාට සම්ප්‍රේෂණය වන්නකි. අසාමාන්‍ය තැලසීමියා ජාන හිමි මවක් සහ පියෙක්ට දාව උපදින දරුවෙකු තැලසීමියා රෝගියෙකු වීමේ අවස්ථාවක් ඇත. නමුත් මව හෝ පියා යන එක් අයෙක් පමණක් තැලසීමියා ජාන හිමි අයෙකු වූ පමණින් දරුවා රෝගියෙකු වන්නේ නැත. එහෙත් දරුවා රෝග වාහකයෙකු වීමේ අවධානමක් ඇත(වාහකයෙක් යනු ඉදිරි පරම්පරාවට එම රෝගී ජානය සම්ප්‍රේෂණය කල හැකි අයෙකු වේ.)

“දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ වාහකයෙකු නොවුනා නම් දරුවාට තැලසීමියාව සෑදිමේ කිසිදු අවධානමක් නැත”

ප්‍රතිකාර

  • රුධිර පාරවිලයනය
  • රුධිර පාරවිලයේදී රුධිරයේ තැන්පත් වන වැඩිපුර වකඩ ඉවත් කිරීම සඳහා ⁣ඖෂධ ලබාදීම (Chelation therapy)
  • ඇටමිඳුළු හා ප්‍රාථමික සෛල බද්ධ කිරීම (stem cell or bone marrow transplant)

තැලසීමියාව වළක්වා ගන්නේ කෙසේද?

මෙම රෝගය වැළදුනු විට සුව කරගැනීමට මදක් අපහසු නිසා ඔබට කළහැකි හොඳම දෙය නම් වැළදීමට පෙර වළක්වා ගැනීමයි. ඒ සඳහා ඔබ කළයුත්තේ විවාහයට පෙර තම සහකරු හෝ සහකාරිය රෝග වාහකයෙක්දැයි රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනාගැනීමයි. එමෙන්ම ඔබ වාහකයෙක් නම් තවත් එවැනිම වාහකයෙකු සමඟ විවාහ වීමෙන් වැළකීමට වගබලා ගැනීමයි. ඔබ වාහකයෙක් නොවේ නම් තැලසීමියා වාහකයෙකු හෝ රෝගියෙකු සමඟ විවාහ වූවද එයින් ලැබෙන දරුවා රෝගී දරුවෙකු නොවේ.

රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන අතර එහිදී ඔබ වාහකයෙක ලෙස හඳුනාගතහොත් ඔබට රෝස පැහැති කාඩ්පතක්ද වාහකයෙකු නොවේ නම් කොළ පැහැති කාඩ්පතක්ද නිකුත් කරනු ලැබේ. ඒ සඳහා ඔබ කළයුත්තේ තැලසීමියා මධ්‍යස්ථානයකට ගොස් සරල රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීමයි.

නව යුවලක් ලෙස යුග දිවියට එළැඹීමට පෙර ඉදිරි ජීවිතයේ පසුතැවිල්ලක් නොවන්නට ඔබත් ඔබගේ තැලසීමියා පොරොන්දම නොවරදවාම පරීක්ෂා කරවා ගන්න. ඔබගේ මතු උපදින දරුවාගේ සෞඛ්‍යය සුරක්ෂිත කරන්න.

වැඩි විස්තර සඳහා :

Ragama Thalassaemia Care Center
10 Sirimavo Bandaranayake Mawatha, Kadawatha
0112 926 530
https://maps.app.goo.gl/C9YJAMb8dXPjTziJ9

ජාතික තැලසීමියා මධ්‍යස්ථානය
ශික්ෂණ රෝහල
කුරුණෑගල
037 2222261/62

තැලසීමියා මධ්‍යස්ථානය
ශික්ෂණ රෝහල
අනුරාධපුරය
025 2222261 අමතා 266 දිගුව අමතන්න

තැලසීමියා මධ්‍යස්ථානය
ශික්ෂණ රෝහල
බදුල්ල
055 2222261 අමතා 223 දිගුව අමතන්න

Share is Caring

2 Comments

  1. champika senanayake. champika senanayake. August 4, 2020

    very important articles. Great work keep lt up!

    • DewMal DewMal August 5, 2020

      Sure, Thank you very much for your response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *