Press "Enter" to skip to content

බරවා රෝගය සහ ප්‍රතිකාර කිරීම

බරවා රෝගය

බරවා රෝගය මිනිසාගේ වසා පද්ධතිය තුළ පරපෝෂිතයකු ලෙස වසර 5-8ක පමණ කාලයක් ජීවත් වෙන ,කුඩා පණුවෙකු විසින් ඇති කරන රෝගී තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ ඇති බරවා රෝග කාරක පරපෝෂිතයා වුචරේරියා බැන්ක්‍රොෆ්ටි (Wucheraria bancrofti) ලෙස හැඳින් වේ.

කියුලෙක්ස් ක්වින්කිෆැසියේටස් (Culex quinquefasciates) වර්ගයෙ පරිණත ගැහැණු මදුරුවෙකු මගින් මෙම රෝගය එක් අයකුගෙන් තවත් අයකුට බෝ වේ .

මෙම මදුරුවා මිනිසාගෙන් ලේ උරා බොන්න ඒ රාත්‍රී කාලයේදීය .

මදුරුවන් බෝවෙන ස්ථාන

ඇහිරී ගිය කාණු
කැඩුණු වැසිකිලි වලවල්
හා අපිරිසිදු ජලය එක්රැස් වන ටින්, පොල් කෝම්බ හා පොල් ලෙලි වලවල් .

මදුරුවන් බෝවෙන ස්ථාන ඇති නොවීමට කටයුතු කරන්න .

රෝග ලක්ෂණ

• උණ
• මස්පිඩු වල වේදනාව
• සමෙහි ඇති වන වේදනා කාරී රතු ලප
• වසා ප්‍රනාල වල ආසාදනය – (සමට යටින් රතුපාටින් දිස්වන නාල රැසක් මෙන් වසා ප්‍රනාන දැකිය හැකිය )
• කුද්දටි (වසා ග්‍රන්ථි) වල ඉදිමීම – (කිහිලි හා ඉකිලි වල )
• ආසාදිත අවයව ආශ්‍රිත ඉදිමීම හා වේදනාව – (ප්‍රධාන වශයෙන් අත් ,කකුල් ,පයෝධර, වෘෂණ කෝෂ වල )
• වැඩෙන පණුවා නිසා ඇතිවන ආසාත්මිකතා හේතුවෙන් ගැටිති ඇති වන අවස්ථා (වෘෂණ කෝෂවල ,පයෝදර වල හා සමට යටින් )
• මීට අමතරව මද උණ ගතිය, කෑම අරුචිය, රාත්‍රියේ දී ඇතිවන වියළි කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකිය.

බරවා රෝගය හඳුනා ගැනීම

රෝග ලක්ෂණ මගින් හඳුනා ගත හැකිය.
රුධිර පරීක්ෂණ මගින් (උදා: රාත්‍රී රුධිර පටල පරීක්ෂාව, WBC/DC, ප්‍රතිදේහජනක පරීක්ෂාව )

රෝගය සෑදී කලක් ගත වූ පසු බොහෝ විට මෙම රුධිර පරීක්ෂණ මගින් දැන ගත නොහැකිය .

ප්‍රතිකාර

• D.E.C/ බරවා පෙති (කල්ගත වූ බරවා රෝගය ඇති අයට මෙම පෙති අවශ්‍ය නැත )
• ඉදිමුණු අත් පා සේදීම
• වෙලුම් පටි යෙදීම
• පාද ඔසවා තබා ගැනීම
• ව්‍යායාම කිරීම
• බැක්ටීරියා සහ දිලීර ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම
• හදිසි ආසාදන තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම

ඉදිමුණු අත් පාද වලට සත්කාර කිරීම

දිනපතාම පාද සබන් හා ඇල් ජලයෙන් සෝදන්න.
දවසට දෙවතාවක් (උදේට සහ රෑට ) හෝ අඩුම තරමින් රාත්‍රියට නින්දට යාමට පෙර වත් සෝදන්න .

ජලය ඉහළ සිට පහළට වත් කරන්න.
මේ සඳහා සමහර අයට අන් අයගේ උදව් අවශ්‍ය වේ.
තෙතමනය රැඳෙන ස්ථානවල විසබීජ වැඩීමට ප්‍රිය කරයි.
එබැවින් පිරිසිදු සිනිදු තුනී රෙදි කැබැල්ලකින් පාදයේ ඇඟිලි අතර සහ සමේ රැළි ඇත්නම් ඒවා අතර සබන් හා පිරිසිදු ඇල් ජලයෙන් සෝදන්න .
ඇඟිලි අතර සහ සමේ රැලි අතර තුවාල ඇත්දැයි ප්‍රවේශමෙන් පරික්ෂා කරන්න .
සේදීමෙන් පසු පිරිසුදු තුවායකින් පිස දමන්න.
සමේ රැළි අතර සහ ඇඟිලි අතර හොඳින් පිස දා වියළා ගන්න.
ඉතා කුඩා හෝ තුවාලයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිජීවක ආලේපයක් හෝ විෂබීජ නාශක ආලේපයක් ගල්වා හොඳින් පිරි මදින්න.
විස බීජ නාශක දියර (කොන්ඩිස් දියර) වෛද්‍ය උපදෙස් මත ගල්වන්න.
ඔබගේ අත් පා වල නියපොතු වැඩී ඇත්නම් කපන්න .

මේ අයුරින් ඔබගේ අනෙක් පාදය පාදය ද සෝදන්න .අනෙක් පාදයේ ඉදිමීම නොමැති වුව ද සෝදන්න.

සුවපහසු පාවහන් පැලදීම

සෑම විටෙක ම සුවපහසු පාවහන් පළදින්න.
රිදුම් දෙන හෝ තුවාල ඇති කරන පාවහන් කිසිවිටෙක නොපළඳින්න.

පාදය ඔසවා තැබීම

වැඩක යෙදෙන විට හෝ විවේකයෙන් සිටින විට හෝ හැකි සෑම අවස්ථාවකදීම පාද ඔසවා තබා ගන්න .
ඔබ නිදන විට දෙපා පපුව මට්ටමට හෝ ඊට මදක් ඉහළින් සිටින සේ ඇඳ සකස්කර ගන්න.
කොට්ට දෙක තුනක් හෝ ඝනකම් ලෑල්ලක් මෙට්ට යටින් තබා දෙපා කෙළවර එසවිය හැකි ය.

ව්‍යායාම කිරීම

සෑම විටකම ඔබේ පතුල ඉදිරියටත් පසුපසටත් කවාකාරව චලනය කරන්න.

වෙලුම් පටි යෙදීම

  1. වෙළුම් පටියේ මුල සිදුරක් කපා මහපට ඇඟිල්ල ඇතුල් කරන්න.
  2. වෙළුම් පටියේ එතීම පටන්ගන්නා අවස්ථාවේදී සහ අවසන් කරන අවස්ථාවේ දී එය දෙවරක් ඔතන්න .
  3. වෙළුම් පටියෙන් තුනෙන් එකක් වැසෙන සේ ඊළඟ පොට ඔතන්න.
  4. සන්ධි තිබෙන ස්ථාන වල සංධිය චලනය කළ හැකි වන ලෙස අතේ හැඩයට ඔතන්න.
  5. උදේට වෙළුම් පටි දමන්න .දහවල් කාලය පුරා එය පැළඳ ගෙන සිටින්න . රාත්‍රී නින්දට යාමට පෙර වෙළුම් පටි ඉවත් කරන්න.

හදිසි ආසාදන ඇති විට එම තත්ත්වය සුව වන තෙක් වෙලුම් පටි භාවිතා නොකරන්න .

ගැටලු ඇතොත් විමසන්න. [email protected]

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *