Press "Enter" to skip to content

තරුණ ඔබ දැන ගත යුතු පවුල් සැලසුම් ක්‍රම හා එහි මිත්‍යා මත

ශ්‍රී ලංකාවේ උපත් පාලන ක්‍රම ගැන මේ වන විට තරමක් හෝ සාමාන්‍යකරණය වී තිබුණත් තවමත් දුර්මත, මිත්‍යා මත හා අපහැදිලිකම් බොහෝමයක් තරුණ වැඩිහිටි ප්‍රජාවන් අතර දක්නට ලැබේ. කෙසේ නමුත් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය පරීක්ෂා කිරීමෙන් ඒ හා සම්බන්ධ දැනුම දැන් ලබා ගත හැක, ඒ වාගේම පවුල් සංවිධාන සංගමය වැනි ආයතන මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී කාර්‍යාල මඟින්ද මෙම පහසුකම් ලබා ගැනීම කල හැකිය.

සරලවම උපත් පාලනය නැතහොත් පවුල් සැලසුම් කිරීමෙන් විවිධ ආකාරයෙන් සිදු වන ගැබ් ගැනීම් වළක්වා ගැනීම මෙන්ම පවුලක කෙතරම් දරුවන් පිරිසක් සිටිය යුතුද, කුමන කාල වලදී දරුවන් උපත ලබනවාද, එම දරුවන්ගේ පරතරය කොපමණ විය යුතුද, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දරුවන් ලබා ගැනීමෙන් පසුව අනපේක්ෂිතව සිදු වන නැවත පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට, මඳ සරු භාවයෙන් පෙළෙන යුවළවල් වලට දරුවන් පිළිසිඳ ගැනීමට උපකාරී වීමට මෙන්ම විවිධ ආකාරයේ ලිංගික රෝග වලින් ආරක්ෂා වීමත් මෙහි එක් ප්‍රතිඵලයක් ලෙස පෙනෙන්නට තිබේ.

වර්තමානයේ භාවිත කරන පවුල් සැලසුම් ක්‍රම –

ස්ථීර පවුල් සැලසුම් ක්‍රම

  1. පුරුෂ සැත්කම් (වාසේක්තම්) – ශුක්‍ර නාලය ගැට ගැසීම මඟින් ශුක්‍ර තරලයට ශුක්‍රාණු එකතු වීම වලක්වයි. මෙම ක්‍රමය භාවිතා කිරීමට පෙර ස්වාමිපුරුෂයා හා භාර්‍යාව අතර හොඳින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතුය මන්ද මෙම සැත්කම නැවත හැරවීම දුෂ්කරය
  2. කාන්තා සැත්කම් (LRT) – පැලෝපීය නාලය ගැට ගැසීම මඟින් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් හමු වීම වලක්වයි.  ඉහත ආකාරයෙන්ම මෙම පවුල් සැලසුම් ක්‍රමයට යාමට පෙර ස්වාමිපුරුෂයා හා භාර්‍යාව අතර හොඳින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු අතර  ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රෝහලකින් හෝ පවුල් සෞඛ්‍ය කාර්‍යංශයේ සායනයෙක් හෝ පෞද්ගලික රෝහලකින් මෙම සේවාවන් ලබා ගත හැකිය
පවුල් සැලසුම් ක්‍රම

තාවකාලික පවුල් සැලසුම් ක්‍රම

  • ගිලින පෙති –

ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ට්‍රජන් හෝමෝන අඩංගු මෙම පෙති අපට පහසුවෙන් ෆාමසියකින් වුවද ලබා ගත හැක. විවිධ වර්ගයේ ගිලින පෙති වර්ග ඇති අතර, මිතුරි යනු අප බොහෝ දෙනෙක් දන්නා එක් ගිලින පෙති වර්ගයකි. ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මුදා හැරීම වැලැක්වීම හා ගැබ් ගෙල ශ්‍රාවයන් ඝණකම් කිරීම මඟින් ශුක්‍රාණු ඇතුල් වීම වැළැක්වීම මේ මඟින් සිදු කරයි. ඔසප් වූ මුල් දින 5 ඇතුළත පෙති භාවිත කිරීම සිදු කල යුතුය.

මෙම පෙති සෞඛ්‍ය නිලධාරී කාර්‍යාලයෙන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් නොමිලයේ ලබා ගත හැක. පෙති භාවිතය නතර කල වහාම සරු භාවයට පත් වන නිසා ඔබ ලිංගික එක් වීම ගැන නොසලකා දිනපතාම භාවිතා කල යුතුය. ඔසප් චක්‍රය ක්‍රමවත් වීම, ඩිම්භකෝෂ හා ගර්භාෂ පිළිකා වලින් ආරක්ෂා කිරීම වැනි බොහෝ වාසි මෙම ගිලින පෙති භාවිතයෙන් ලැබෙන අතර වැඩි සාර්ථකත්වයක් ඇති පවුල් සැලසුම් ක්‍රමයකි.

  • DMPA නික්ෂේපනය (Depot Injection)

මාස තුනකට වරක් ගත යුතු ප්‍රොජෙස්ට්‍රජන් අඩංගු නික්ෂේපනයකි. ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මුදා හැරීම වැලැක්වීම හා ගැබ් ගෙල ශ්‍රාවයන් ඝණකම් කිරීම මඟින් ශුක්‍රාණු ඇතුල් වීම වැළැක්වීම මේ මඟින් සිදු කරයි. ඔසප් වූ මුල් දින 7 ඇතුලත ලබා ගත යුතු අතර, මාස 3කට වරක් නික්ෂේපනය කල යුතුය. භාවිතය නවත්වා සරු කාලයට පත් වීමට මාස 4,5ක් පමණ ගත වන අතර නික්ෂේපනය ලබා ගැනීමට සේවා දායකයෙක් වෙත යා යුතුය. ඩිම්භකෝෂ හා ගර්භාෂ පිළිකා වලින් ආරක්ෂා කරන අතර සෞඛ්‍ය නිලධාරී කාර්‍යාලයෙන් නොමිලේ ලබා ගත හැක.

  • ලූපය (අන්තර් ගර්භාෂ තැන්පතුව)

කොපර් අඩංගු ඉතා කුඩා T අකුරක හැඩැති නැවෙන සුළු ප්ලාස්ටික් උපකරණයකි. පුහුණු වෛද්‍ය වරයෙකු හෝ හෙද නිලධාරිණියක් මඟින් ලූපය ගර්භාෂය තුල තැන්පත් කර ගත හැක. ඉහළ සාර්ථක භාවයක් ඇති අතර ලූපය ඉවත් කල වහාම සරු භාවයට පත් වේ. තඹ හේතුවෙන් ඩිම්බ හා ශුක්‍රාණු අඩපන වීම සිදු වේ.

  • කරල් තැන්පතුව

ප්‍රොජෙස්ට්‍රජන් හෝමෝනය මුදා හරින කරල් වන අතර භාහුවේ උඩ කොටසේ ඇතුල් පැත්තේ සමට යටින් සුළු කැම්පුමක් කර ඇතුල් කරයි. ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මුදා හැරීම වැලැක්වීම හා ගැබ් ගෙල ශ්‍රාවයන් ඝණකම් කිරීම මඟින් ශුක්‍රාණු ඇතුල් වීම වැළැක්වීම මේ මඟින් සිදු කරයි. කරල් ඉවත් කල වහාම සරු භාවයට පත් වේ. ඔසප් වූ මුල් දින 7 ඇතුළත ලබා ගත යුතු අතර සෞඛ්‍ය නිලධාරී කාර්‍යාලයෙන් නොමිලේ ලබා ගත හැක.

  • කොන්ඩමය (කොපු)

නිසි ආකාරව සෑම ලිංගික එක්වීමකදීම පළඳින්නේ නම් ඉහළ සාර්ථක භාවයක් ඇත. සෑම සංසර්ගයකටම පෙර අලුතින් කොන්ඩම් එකක් භාවිත කල යුතුය. බාධකයක් ලෙස ක්‍රියා කර යෝනි මාර්ගයට ශුක්‍රාණු ඇතුල් වීම වළක්වයි. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා කරයි. සරු භාවයට බාධාවක් නැති අතර ෆාමසියකින් පහසුවෙන් ලබා ගත හැක. තවද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් නොමිලයේ ලබා ගත හැක

  • හදිසි අවස්තාවකදී ගන්නා ගිලින පෙති (මෙය පවුල් සැලසුම් ක්‍රමයක් නොවේ)

අනපේක්ෂිත/අනාරක්ෂිත ලිංගික එක්වීමකදී, පවුල් සැලසුම් පෙති ගැනීමට අමතක වීමකදී, කොන්ඩමය ඉරී යාමකදී හෝ දූෂණයකට ලක් වීම වැනි අවස්ථාවකදී අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා මෙය භාවිතා කල හැක. උදාහරණ පොස්ටිනෝර් – 02

අනාරක්ෂිත ලිංගික සංසර්ගය සිදු වී පැය 24ක් ඇතුළත භාවිත කිරීමෙන් වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැක. ඩිම්බකෝෂ වලින් ඩිම්බ පිටවීම වළක්වයි.

පවුල් සැලසුම් සම්බන්ධ මිත්‍යා මත

  1. හෝමෝන ගැනීමෙන් ශරීරය ස්ථුල භාවයට පත් විය හැක – ප්‍රොජෙස්ට්‍රජන් හෝමෝන නිසා බඩගින්න තරමක් වැඩි කරන තර ඔබ ආහාර ගන්නා විට තරමක් වැඩියෙන් ආහාර ගැනීම සිදු වන නිසා ස්ථුල වීම සිදු විය හැක. නමුත් එය පාලනය කල හැකි දෙයකි.
  2. කොන්ඩම් පහසුවෙන් ඉරී යා හැකි බව – නිවැරදි ආකාරයෙන් එය පළඳින්නේ නම් එලෙස සිදු වන්නේ නැත.
  3. පිරිමි සැත්කමෙන් පසු ශිෂ්ණය ප්‍රානවත් නොවේ – කිසිලෙසක එලෙස සිදු නොවන අතර, දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය වැනි පුරුදු එයට බලපෑ හැක.
  4. පිරිමි සැත්කමෙන් ශුක්‍ර මෝචනය සිදු නොවේ – නැත, ශුක්‍රාණු පමණක් තරලයේ නොමැතිව පිට වේ.
  5. කොන්ඩම් නිසා තෘතිය අඩු වේ. – කිසිසේත් නැත. ලිංගික තෘතිය වැඩි කර ගත හැකි කොන්ඩම් පවා ඔබට ෆාමසි වලින් මිලදී ගත හැක.
  6. ලූපය මඟින් ගබ්සා ඇති වේ – නැත. ලූපය දමන්නේ ගැබ් ගැනීම් වැළක්වීමටය.
  7. සංසර්ගය කරන දින වලදී පමණක් ගිලින පෙති ගැනීම ප්‍රමාණවත් ය. – නැත ඉන් ගැබ් ගැනීම් සිදු විය හැක. දිනපතා භාවිත කල යුතුය.
  8. කොන්ඩම් නිසා ලිංගික තෘප්තිය අඩු වේ. – නැත. ලිංගික තෘප්තිය වැඩි කිරීම සඳහා වූ කොන්ඩම් පවා ෆාමසි වලින් ලබා ගැනීමේ හැකියාව ඇත.

ඉහත පවුල් සැලසුම් ක්‍රම ගැන සැලකීමේදි පෙනෙන දෙයක් නම් බොහෝ ඒවා කාන්තාවන් හට භාවිත කිරීමට ඇති බවයි. නමුත් පවුල් සැලසුම්කරණය යනු කාන්තාව විසින් තනිවම සිදු කල යුතු දෙයක් නොවන අතර, යුවලක් ලෙස කාන්තාව හා පුරුෂයා එක්ව මනා අවබෝධයකින් යුතුව සිදු කල යුතු දෙයකි. තරුණ ඔබ විවාහ වීමට පෙර හෝ පසුව ලිංගිකව ක්‍රියාකාරී වන්නේ නම් පවුල් සැලසුම් ක්‍රම ගැන දැනුවත් වීම හා භාවිත කිරීම ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම කරන ආයෝජනයක් ලෙස හැඳින්විය හැක.

Reference and Resources –

  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳ අත්පොත හා පුහුණු කරුවන් පුහුණු කිරීම සඳහා වූ විෂය නිර්දේශය –  ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමය
  • https://www.copemanhealthcare.com/resources/top-5-contraception-myths

https://www.nationwidechildrens.org/specialties/bc4teens/resources/birth-control-myths

Share is Caring

3 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *