Press "Enter" to skip to content

ලේ දන් දෙන්න සිතුවාද? මේ ගැනත් දැනුවත් ද?

කෙනෙක් ගේ ජීවිතය සුරැකීමට උපකාරී වීමට තිබේ නම් එය කෙතරම් අගනා කටයුත්තක් ද? රුධිරය පරිත්‍යාග කිරීම එවැනි කටයුත්තකි. ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මඟින් මෙම උතුම් කටයුත්ත අප රට තුළ පවත්වාගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාවේ රුධිර දායකයන් 100% ක් ම පරිත්‍යාගශීලීන් වේ. මෙය ඉතාමත් ප්‍රශංසනීය තත්වයකි. එක් රුධිර පරිත්‍යාග කිරීමකින් ජීවිත තුනක් දක්වා සුරැකීමට හැකියාව ඇත. සෑම මාස 4ක ට වරක් ඔබට ලේ දන් දීමේ හැකියාව ඇත.

මෙසේ ගබඩාකරන රුධිරය ඩෙංගු හා වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම අඩු වේ. මේ නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටී. නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කළ හැකිය.

ඔබත් රුධිර දායකයෙකු වීමට නම්

  • ඔබේ වයස අවුරුදු 18 ත් 60 ත් අතර විය යුතුය. එසේම ඔබ ප්‍රථම වරට රුධිරය පරිත්‍යාග කරන්නෙක් නම් ඔබේ වයස අවුරුදු 55 නොඉක්මවිය යුතු වේ.
  • ඔබේ බර කිලෝ ග්‍රෑම් 50 ට වඩා වැඩි විය යුතු ය.
  • පෙර අවස්ථාවේ රුධිරය ලබා දී මාස 4 සම්පූර්ණ වී තිබිය යුතු ය.
  • රුධිර හිමොග්ලොබින් ප්‍රමාණය 12.5 g/dl හෝ ඊට වැඩි විය යුතු ය.
  • ගර්භනීභාවයෙන් හෝ යම් රෝගී තත්වයකින් තොර විය යුතු ය.
  • අවධානම් හැසිරීම් වලින් තොර විය යුතු ය.

අවධානම් හැසිරීම් යනු මොනවාද?

  • ලිංගික කටයුතු එක් අයෙකුට සීමා නොවීම.
  • පිරිමියෙකු තවත් පිරිමියෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
  • කෙදිනෙක හෝ ගණිකා වෘත්තියේ යෙදී සිටීම.
  • පසුගිය වසර තුළ අවදානම් ලිංගික ඇසුරක් පැවැත්වීම.
  • කෙදිනෙක හෝ එන්නත් ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලබා ගෙන තිබීම.

ඔබ ලේ දීමට පෙර

  • පැය හතරක් තුළ ප්‍රධාන ආහාර වේලක් ලබා ගෙන තිබිය යුතු ය.
  • මත්පැන් නො වන දියරමය පාන වැඩිපුර පානය කරන්න.
  • පෙර දිනයේ පැය හයක් හෝ ඊට වැඩි නින්දක් ලබා ගෙන තිබිය යුතු ය.
  • පහසු සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටීම වඩාත් යෝග්‍ය වේ.

ඔබ ලේ දීමෙන් පසු ව

  • අවම වශයෙන් මිනිත්තු 20 ක් පමණ රුධිරය පරිත්‍යාග කළ ස්ථානයේ රැඳී සිටීම වැදගත් වේ.
  • සුළු ආහාරයක් හා දියරමය පානයක් ලබා ගත යුතු ය.
  • ඉදිරි පැය හතර තුළ දී වැඩිපුර දියර පානය කරන්න.
  • රුධිරය ලබා ගැනීමට එන්නත් කටුව ඇතුල්කළ ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය පැය 12 ක් පමණ නො ගලවා තබා ගත යුතුය.
  • අධික වෙහෙසකර වැඩ කිරීමෙන් හෝ රුධිරය ලබා දුන් අතින් බර එසවීමෙන් වළකින්න.

දණ්ඩ නීතී සංග්‍රහයේ 262, 263 වගන්ති අනුව දැනුවත් ව රෝගයක් පැතිරවීම ට කටයුතු කිරීම දඬුවම් ලැබිය යුතු වරදකී.

තොරතුරු: ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය


Share is Caring

One Comment

  1. […] ලේ දන් දෙන්න සිතුවාද? මේ ගැනත් දැනුවත්…By DewMalකෙනෙක් ගේ ජීවිතය සුරැකීමට උපකාරී වීමට තිබේ නම් එය කෙතරම් අගනා කටයුත්තක් ද? රුධිරය පරිත්‍යාග කිරීම එවැනි කටයුත්තකි. ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *