දිනපතා රෝහලට පැමිණෙන රෝගීන් අතර, තුවාල සහිත රෝගීන් කොටසකුත් සිටිනවා. මේ අය අතර, හදිසි අනතුරු නිසා හදිසියේ පැමිණෙන රෝගීන් ද, සුලු කැපුම්, සීරීම් තුවාල සහිත රෝගීන් වගේම, කාලයක් පුරාවට තිබෙන තුවාල සහිත රෝගීන් ද සිටිනවා. බොහෝ විට කාලයක් පුරාවට තුවාල පවතින මේ රෝගීන් ගේ තුවාල දෙපා වල තිබීම විශේෂයි. මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ, මෙවැනි දීර්ඝකාලීන තුවාල සහිත රෝගීන් ගැනයි.
දීර්ඝකාලීන තුවාල
දීර්ඝකාලීන තුවාල විවිධ වර්ගයන් අපිට දැකගන්න හැකියාව තියෙනවා. මේ අතර
- අනතුරක් නිසා ඇති වූ තුවාල, කාලයක් පුරාවට පැවතීම.
- පර්යන්ත රුධිර වාහිනී වල රෝග නිසා ඇති වන තුවාල.
- දීර්ඝකාලීන ආසාදන තත්ව නිසා ඇතිවන තුවාල.
ප්‍රධාන තැනක් ගන්නවා.
පාදවල දීර්ඝකාලීන තුවාල සහිත රෝගීන් බොහෝවිට අපට දැකගන්න පුලුවන්. එම රෝගීන් ගේ අනෙකුත් රෝගාබාධ ද, මෙම තුවාල සුව නොවීමට ප්‍රධාන වශයෙන් බලපානවා. උදාරණයක් ලෙස දියවැඩියාව හදුන්වන්න පුලුවන්. මෙම තුවාල සුව නොවීමට අනෙක් ප්‍රධාන හේතුවක් වෙන්නෙ, තුවාල වලට නිසි ප්‍රතිකාර ලබා නොගෙනීමයි.
සාමාන්‍ය තත්ව යටතේ තුවාලයක් සිදු වූ විට, ශරීරය තුළින් ම එය සුව වීමේ හැකියාව පවතිනවා. නමුත් සමහර පුද්ගලයන් ගේ ශරීරවල මෙම හැකියාව දුර්වල වීම නිසා, දීර්ඝකාලීන තුවාල ඇති වීමට හේතුවෙනවා.
අනතුරු නිසා ඇති වූ තුවාල සහ ඒවාට ප්‍රතිකාර
බහුල වශයෙන් හදිසි අනතුරු නිසා තුවාල ඇති වේ. විශේෂයෙන් ම අස්ථි බිදීයෑම් සමගම මෙම තුවාල සිදු වෙයි. මෙම තුවාල හරහා අස්ථි වලට විෂබීජ ඇතුළුවීමෙන්, මෙම තුවාල තවදුරටත් සංකීර්ණ වන අතර, දීර්ඝකාලීන තුවාල බවට පත්වීමට ද වැඩි හැකියාවක් ඇත.
මෙවැනි අනතුරක් සිදුවූ විට කඩනමින් රෝහලට යාම ඉතාමත් වැදගත් වෙනවා. රෝහල තුලදී ශරීරයට සිදු වී ඇති අනතුරු හදුනාගෙන ඒවාට ප්‍රතිකාර අරඹයි. මෙහෙදී විකාලාංග ශල්‍ය වෛද්‍යවරු, ලේ නහර පිළිබද ශල්‍ය වෛද්‍යවරු, හා අනෙකුත් වෛද්‍යවරු ප්‍රතිකාර සදහා ප්‍රධාන තැනක් ගනී. මෙම තුවාල සුව නොවීමට ප්‍රධාන බාධක වන්නේ, තුවාලයේ සංකීර්ණ බව මෙන්ම, දියවැඩියාව හා පර්යන්ත රුධිරවාහිනී වල ඇති රෝගී තත්ව වැනි රෝගී තත්වයි. එම නිසා යම් කාලයක් තුලදී මෙම තුවාල සනීප කර ගැනීම සදහා වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාමත් වැදගත්.
බොහෝ විට දැක ඇති පරිදි, රෝගීන් සායනවලට මුල් අවස්තාවෙන් පසුව සහභාගී නොවී, වෙනත් ප්‍රතිකාර වල ට හෝ ප්‍රතිකාර නොකර සිටී. ඔවුන් නැවත පැමිණෙන්නේ තත්වය තවත් සංකීර්ණ කරගෙනය. මෙවැනි දේ සිදුවන්නේ, තමාගේ රෝගී තත්වය පිළිබඳ අවබෝධයක් නොවීම, වැරදි තොරතුරු හා ප්‍රතිකාරයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව අවබෝධයක් නැතිවීමයි.
පර්යන්ත රුධිර වාහිනී වල රෝග නිසා ඇති වන තුවාල
ඔබගේ ශරීරයේ පර්යන්ත කොටස් වල (විශේෂයෙන් ම පාද, දෙඅත්) රුධිර වාහිනී වල හා වසා නාල වල ඇතිවන රෝගී තත්ව නිසා තුවාල ඇති වේ. මෙහිදී,
- ධමනී වල රෝග
- ශිරා වල රෝග
- වසා නාල වල අවහිරවීම අපට ප්‍රධාන ගැටලු ලෙස දැක්විය හැකියි.
ධමනී අවහිර වීම මගින් ශරීරයේ අදාළ ප්‍රදේශවලට රුධිර සැපයුම අඩාළ වේ. එම නිසා ඒ ප්‍රදේශ වල ඇති වන තුවාල, සුව වීමේ හැකියාව ඉතා අඩු ය. එමෙන්ම පාද වල ශිරා අවහිර වීම මගින්, රුධිරය ඉහලට ගමන් නොකිරීම නිසා, ඒවා පාදවල පහල, කොටස් වල එකතු වන අතර, එම නිසා පාද ඉදිමීම, සම ට හානි සිදුවීම හා තුවාල ඇති වීම සිදු වේ. වසා නාල අවහිර වීමෙන් ද, ශරීර කොටස් (පාද, අත්) ඉදිමීම හා තුවාල ඇති වීම සිදු වේ.
මෙලෙස ඇති වන තුවාල වලට කොතෙකුත් සාමාන්‍ය ප්‍රතිකාර කළ ද ඒවා සාමාන්‍යයෙන් සුව නොවේ. මෙවැනි අවස්ථාවල ඔබ, රුධිර වාහිනී හා අවයව බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරයෙකු ( Vascular and Transplant Surgeon) වෙතට යොමු වී ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙනවා.
දීර්ඝකාලීන ආසාධන තත්ව නිසා ඇතිවන තුවාල
මෙවැනි තුවාල සිදු වන්නේ බොහෝ විට, නිසි ප්‍රතිකාර නොකරන ලද දීර්ඝකාලීන ආසාදන නිසාවෙනි. මේවා බොහෝ විට සම මත ඇති වූ සමේ රෝග සංකීර්ණ තත්වයට පත්වීම, සාමාන්‍ය තුවාල ආසාදනය වීම ආදී දේ නිසා සිදු වේ.
මෙවැනි තුවාල සෑදුනවිට ප්‍රතිකාර ලබාගන්නේ කෙසේ ද?
ඔබට මේ වන විටත් දීර්ඝකාලීන සුව නොවූ තුවාලයක් ඇත්නම්, වහාම ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවන්න. එමෙන්ම ලේ නහර පිළිබද ශල්‍ය වෛද්‍යවරයෙකු හමු වීම ට හැකිනම් වඩාත් හොදයි.
මේ වන විටත් ඔබ ප්‍රතිකාර වලට යොමු වී ඇතන්ම්, නිවැරදි පරිදි උපදෙස් පිළිපදින්න, ඔබගේ වර්තමාන තත්වය ගැන වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න. ඔබට සුව විය හැකි හොදම ආකාරය පිළිබද අදහසක් වෛද්‍යවරයාගෙන් ම ලබා ගන්න.
එමෙන්ම සුලු තුවාලයක් වුවද, වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.

Be First to Comment